Wednesday, September 20, 2023

කොඩිගහයට

කොඩිගහයට ගැන විචාරයක්.

 ඕනෑම කලා නිර්මාණයක් සාර්ථක වීම සිදුවන්නේ එයින් ඉස්මතු සමාජ සංස්කෘතික, ආර්ථික, දේශපාලනික පසුබිම මතය. ''කොඩිගහයට'' නිර්මාණය ඒ අභියෝගය සාර්ථකව ජය ගත් නිර්මාණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන. තරුණ පරම්පරාව ඉතාමත් කැමැත්තෙන් සහ ආශාවෙන් වැළදගත්, ස්වාධීන රූපවාහිනිය තුළ විකාශය වූ ''කූඹියෝ'' ''තණමල්විල කොල්ලෙක්'' යන ටෙලි නාට්‍ය ගණයට ඇතුළත් වූ තවත් අපූර්වතම නිර්මාණයක් ලෙස ''කොඩිගහයට'' පෙන්වා දිය හැක. ලංකාව තුළ දුර්වල වී තිබූ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ප්‍රේක්ෂක ආකර්ෂණය නැවත ලබා ගැනීමට සමත් වූ නිර්මාණයක් ලෙසද ''කොඩිගහයට'' ටෙලි වෘත්තාන්තය හඳුන්වාදිය හැකිය. ''කොඩිගහයට'' යන වචනයෙහි සෘජු අර්ථය ලෙස ප්‍රේක්ෂකයා හට පැන නැගෙනුයේ 'කොළඹ වැසියා' යන අර්ථය යි. ඒ අනුව, මෙම ටෙලි කතාව තුළට ඇතුළත් කර තිබෙන ටෙලි නාමය සහ එහි අන්තර්ගත කොට තිබෙන වර්ණ භාවිතය තුළ ද වෙනමම ආකාරයේ අර්ථයක් පවතී. සමාජයේ පහළ ස්ථරයේ සිටින මිනිසුන්ගේ හැඟීම් ඉස්මතු කරන ටෙලි වෘතාන්තයක් ලෙස කොඩිගහයට කතාව අද වන විට සමාජයේ බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත.

 මෙම ටෙලි වෘත්තාන්තය ලියවෙන්නේ කොවිඩ් වසංගතය ලංකාවෙහි ව්‍යාප්ත වීමට පෙර‍ය. නිර්මාණශීලීත්වය, රසාස්වාදය, අර්ථවත්භාවය, සමාජ යථාර්ථය යන ගති ලක්ෂණ සියල්ල කැටි කර ගත් නිර්මාණයක් වන මෙය සිනමා හා රූප මාධ්‍ය තම ආත්මය කොටගත් 'ජගත් මනුවරණ' කලා ශූරීන්ගේ තවත් අපූර්වතම නිර්මාණයක් ලෙස කලා ලෝකයට එකතු විය.

 ''කොඩිගහයට'' තුළ ප්‍රධාන වශයෙන් මා අධ්‍යයනය කළ කාරණාවක් නම්, මෙය ප්‍රතිවීරයන් තිදෙනෙක් වටා ගෙතුණු කතාවක් බවයි. එනම්, 'පියල්' 'මහේෂ්' 'අසේළ' ඇතුළුව තවත් චරිත අතර ගලාගෙන යන අපූරු සමාජ පසුබිමක් නිරූපණය කරන සාම්ප්‍රදායික වීරයකු වෙනුවට සදාචාරාත්මක හා සමාජයීය වශයෙන් කටයුතු නොකරන වීරයන්ගේ කතාවක් ලෙසයි. නිදසුනක් ලෙස, මෙම කතාංගයේ සමාරම්භයම මහේෂ්ගේ මිනීමැරුම් සිදුවීම ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. එමෙන්ම මෙහි සිටින අනෙක් ප්‍රතිවීරයා වන අසේලගේ චරිතයෙන් ගම්බද පළාතක සිට ජීවිතයේ අනේක දුෂ්කරතා මැද කොළඹට පැමිණි තරුණයෙකු වංචා සහගත වරදකට සිරගෙට යාමත්, පසුව ඔහු අපරාධ වලට සම්බන්ධ වන ආකාරයත් තුළින් වර්තමාන සමාජ ආර්ථික පසුබිම ඉතා හොඳින් පිළිබිඹු වේ. කතාවෙහි මැද කොටස වන තෙක්ම මෙම චරිත වල එකිනෙක වටිනාකම් නැති කරමින් ඔවුන් වෙනත් ආකාර වලින් ඉදිරියට යන ආකාරය ඉතා හොඳින් විද්‍යමාන වේ. නිදසුන් ලෙස, සුදූට ආදරේ කරන මහේෂ් ආදරයටත් වඩා සුදූගෙ කට වසා තමන්ගේ ගමන යාමට උත්සාහ කරන ආකාරය හඳුනාගත හැකිය. සමාජය තුළ බහුලව පවතින්නේ මෙම සිදුවීමය. තමා දියුණු වීම සහ තමන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීමේ යන හැඟීමයි. ඒ අනුව මේ ප්‍රතිවීරයන් තුළින් නිරූපණය වන යටි අර්ථය වන්නේ සමාජ කඩා වැටීමයි. එමෙන්ම  වර්තමානයේ සමාජය තුළ ප්‍රතිවීරයා යන්න යථාර්ථයක් වෙමින් පවතින යුගයක මෙවැනි ටෙලි වෘතාන්තයක් තුළින් එය ඉතා දක්ෂ ලෙස ඉස්මතු කිරීම ජගත් මනුවර්ණ මහතා ගත් සාර්ථක ප්‍රයත්නයකි.

 තවද දෙබස් අතර අන්තර්ගත වන භාෂාව ඉදිරිපත් කර තිබෙන ආකාරය ඉතාමත් ප්‍රබල ය. ඒවායෙහි ව්‍යංග්‍යාර්ථයෙන් සමාජ ගැටලු ගණනාවක් ඉස්මතු කර දැක්වීමට නිර්මාණකරුවා උත්සාහ ගෙන ඇත. නිදසුන් ලෙස, ''කොඩිගහයට'' තුළ ප්‍රේක්ෂක අවධානය ඉතාමත් තදින් යොමු වූ අවස්ථාවන් ගණනාවක් ඉදිරිපත් කළ හැකිය. එනම්, මහේෂ් සිරගෙදර දී 'මහත්තයෝ ඕක හැමදාම ගහන තොරණනේ....පොඩ්ඩක් කොටුවකින් දෙකකින් එහාට මෙහාට කරල ගහන්න ඕක' යන දෙබස තුළ සිරගෙදර සිටින මහේෂ්ගේ භාෂාවෙන් ඉතාමත් ප්‍රබල අදහසක් එමගින් ඉදිරිපත් කර ඇති ආකරය පෙනී යයි. එමෙන්ම කලූගෙ චරිතය එක්තරා අවස්ථාවකදී 'මං පො# තමයි යකෝ...තොපි පිරිමිද...පිරිමියෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙන්න බලපන්' මෙය සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක්වූ දෙබස් කාණ්ඩයකි. එමෙන්ම පියල් ගේ මව ජීවනී සහ පියල් අතර පවතින සම්බන්ධය නතර කිරීමට, වත්ත තුළ දී ජීවනී මුණගැසුණු අවස්ථාවේ දී 'මේකිට අහුවුනොත් කටුත් සූප්පු කරයි' යන දෙබස තුළ ඉස්මතු වන අදහස ද විශිෂ්ට ගණයේ සමාජ පසුබිමක් නිරූපණය කරන්නකි. මෙම කතාව තුළ ඉදිරිපත් කර තිබෙන දෙබස් කාණ්ඩ සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී සාමාන්‍ය ටෙලි කතාවක අන්තර්ගත නොවන බොහෝ වෙනස් ආකාරයේ දෙබස් හඳුනාගත හැකිවන අතර එම සෑම වචනයකම කිසියම් හෝ අර්ථයක් සමාජයට ලබාදෙන ආකාරය හඳුනාගත හැකිය.

 එමෙන්ම කොඩිගහයට තුළ මෙතෙක් ගලා ආ දර්ශනයන්ගෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමට වඩාත් සමත් වූයේ, මෙහි අන්තර්ගත වන ක්‍රියාදාම කොටස් ත්‍රිත්වයයි. එහිදී මෙතුළ භාවිතා කර ඇති තාක්ෂණික ක්‍රමවේදයන් ද සාමාන්‍ය ටෙලි කතාවක අන්තර්ගත නොවන ආකාරයෙන් භාවිතා කොට ඇත. 

 මෙතුළ හඳුනාගත හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, මෙම කතාව තුළ ඉදිරිපත් කරන රංගනයන් පිළිබඳවය. ඒ ඒ චරිතයට අදාළ චරිත නිරූපණයන් ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් ඉදිරිපත් කිරීම මෙම ටෙලි කතාව ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය සහ ප්‍රසිද්ධ වීමට හේතු සහගත වී ඇත. කිසියම් චරිතයකට, චරිතයක් තුළ යාමට හැකි යම්කිසි පරාසයක් පවතී. නමුත් මෙහිදී වඩාත් ඉස්මතුවන කලූගේ චරිතය සහ අසේලගේ චරිතය තුළ ඔවුන් ගෙනයන රංගනයෙහි සීමාවන් අසීමිතය. ඒ ආකාරයෙන්ම ජීවනීගේ සහ ශ්‍රියානිගේ චරිතයන් ඉදිරිපත් කරන නදීෂා හේමමාලි සහ දිල්හානි ඒකනායක යන අය එම චරිත වලට ඉතාමත් වටිනා සාධාරණත්වයක් එකතු කර ඇත. කලූගේ චරිතය පිළිබඳ අවධානය යොමු කළහොත් සමරිසි චරිතයක් නිරූපණය කරන නලින් ලුසේනා කලාකරුවා විසින් එය පුදුමාකාර හික්මීමක්, පාලනයක් ඇතිව ඒ චරිතය හාස්‍යයට ලක් කළ නොහැකි ආකාරයෙන් ප්‍රේක්ෂකයාට සමීප කර ඇත. නමුත් සාමාන්‍ය සමාජය තුළ බොහෝ විට සමරිසි චරිත සමාජයෙන් ප්‍රතික්ෂේප වීම, කොං කිරීම ආදිය, හාස්‍යට ලක් කිරීම සිදු කිරීම දැකිය හැකිය. නමුත් මෙම චරිතයෙන් සමාජය තුළ සිටින එවැනි අයට හිමිවිය යුතු ගරුත්වය, ඔවුන්ගේ වේදනාව, ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ කතා රසයෙන් යුක්තව ඉදිරිපත් කිරීම සමාජ වගකීම ප්‍රේක්ෂකයා හට මතක් කර දීමක් වැනිය. මෙවැනි චරිතයක් මීට පෙර, මෙවැනි ආකාරයකින් ලංකාවේ ටෙලි නිර්මාණ තුළ හෝ සිනමාව තුළ නිරූපණය නොවීම මෙම චරිතය ජනතාව අතර ජනප්‍රිය විමට හේතුවී ඇත. තමන්ගේ සමාජ පසුබිම කුමක් වුවත්, ඕනෑම මනුස්සයකු හට තමන්ගේ තත්ත්වය තුළ යම් වටිනාකමක් පවතී යන කාරණාව මෙමගින් ඉතා හොදින් ඉස්මතු වේ.

 එමෙන්ම මෙම ''කොඩිගහයට'' තුළ ඇතැම් සිදුවීම් දර්ශනය වී ඇති ආකාරය තුළ කිසියම් මනුෂ්‍ය හැසිරීමක විපරිත ස්වභාවයන් නිරූපණය වේ. නිදසුන් වශයෙන්, පොලිස් නිල ඇඳුමෙන් සිදුකරන මංකොල්ලයෙන් පසුව සොරකම් කළ මුදල් කරේ තියන් එන අවස්ථාවේදී අසේලගේ මුහුණේ තිබෙන තෘප්තිමත්භාවය දැක්විය හැකිය. එවැනි අවස්ථාවක සාමාන්‍ය මනුස්සයෙකුගේ මුහුණේ තිබිය යුතු යැයි ප්‍රේක්ෂකයා සිතන හැඟීමට වඩා වෙනස් මුහුණුවරක් ඔහුගෙන් නිරූපණය වීම තුළම සාමාන්‍ය මනුස්ස හැසිරීම තුළ පවතින විපරිත ස්වභාවයක් ඒ තුළින් නිරූපණය වේ. ඇතැම් අවස්ථා වල මෙම කතාවෙහි අදාළ අවස්ථාව තුළ ඊට අදාළ නොවන සංගීතයන් එක්කරමින් යම්කිසි පරස්පර අවස්ථාවන් ප්‍රේක්ෂකයාගේ මනෝභාවය තුළ ඇති කිරීමට නිර්මාණකරුවා උත්සාහ ගෙන ඇත. 

 මෙම ටෙලි කතාව තුළ සිටින බොහොමයක් චරිත 'ප්‍රති' චරිත ලෙස හඳුනාගත හැකිය. නිදසුනක් ලෙස, ශ්‍රියානිගේ චරිතය දැක්විය හැකිය. ඇය පරමාදර්ශී මවක් නොවේ. එමෙන්ම මෙම කතාව තුළ යම් අයෙකුට ඉදිරිපත් කළ හැකි විවේචනයක් නම්, මෙහිදී ප්‍රතිවීරයා උත්කර්ෂයට නැගීමක් සිදුවෙනවාද යන්නයි. එය පිළිබිඹු වන දෙබස් ඛණ්ඩයක් ලෙස, ''හොරු තක්කඩි පිනුම් ගහන රටක අපට සිල් ගන්න බැහැනේ'' දැක්විය හැකිය. මෙම දෙබසින් අර්ථකථනයන් ගණනාවක් ඉස්මතු වේ. නමුත් මෙහිදී, කිසිදු ආකාරයකින් ප්‍රතිවීරයා උත්කර්ෂයට නැගීමක් සිදු කරන්නේ නැත. මාගේ මතයට අනුව නම්, මෙමගින් නිරූපණය වෙන්නේ සමාජයේ යම් කොටසක් පමණි. එනම්, මෙහිදී නිර්මානකරුවා උත්සාහ ගෙන ඇත්තේ මෙවැනි ක්‍රියාකාරකම් සමාජය තුළ සිදුනොවන්නට සමාජයේත්, පාලකයන්ගේත් මැදිහත්වීම් අවශ්‍ය බව ඉස්මතු කරවා දීමටය.

 සමස්තයක් වශයෙන් ''කොඩිගහයට'', රැවටීම, මිත්‍යාව, දරිද්‍රතාව, නීතියේ අර්බුදය සහ නිර්මාණාත්මක ලක්ෂණ එකට ගොනු කර ගත් සර්ව සම්පූර්ණ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ හැකිය. එනම් රැවටීම, යන්න ලංකාව වැනි රටකට නව තේමාවක් නොවේ. නාට්‍ය තුළ තිබෙන සම්භාරය ගතහොත්, උදාහරණ ලෙස, නිලන්ති පෙම්වතියක් ලෙස රැවටෙන ආකාරය ඉදිරිපත් කළ හැක. මේවා නිර්මාණකරුවා ඉදිරිපත් කරන්නේ ජනතාවට නොරැවටී සිටීමට අවශ්‍ය මඟපෙන්වීමක් වශයෙනි. එමෙන්ම, මෙහි අන්තර්ගත මිථ්‍යාව යන්න රට අඝාදයට යාමට හේතුවී ඇති ප්‍රධාන බලවේගයක් වැනිය. නිදසුන් ලෙස, ශ්‍රියානි අසරණ වූ ජීවනීව තම නිවසට ගෙනැවිත් කිරි තේ එකක් ඇයට දීම හුදෙක් කරුණාව නොව ඉනාවක් කැවීමට ගන්නා උත්සාහයකි. තවත් නිදසුනක් ලෙස, නිලන්තිගේ චරිතය තරුණියක් වුව ද තම මව සමග සාස්තර ඇසීම පේන බැලීම වැනි මිත්‍යාවන් සම්බන්ධ දේට යොමු වීම දැක්විය හැකිය. එමෙන්ම තවත් නිදසුනක් ලෙස, මහේෂ්ව හිරගෙදරදී මැරීමට තැත් කළ තරුණයා කපු මහත්තයෙක් ආකාරයෙන් කතාව ඉදිරියේ දී හමුවීමත්, ප්‍රතිවීරයා සමීපයේ තිබෙන බිය කපු මහත්තයා ළග නොතිබීමත් තුළ එහි මිත්‍යාව ප්‍රමාණය ජනතාවට ඒත්තු ගන්වා ඇති ආකාරය විශාලය. තවත් උදාහරණයක් ලෙස, මහේෂ් දේවාලය තුළ පිස්තෝලය එළියට ගැනීමට බය වීමත් නමුත් එම දේවාලය තුළ එවැනි සමාජ විරෝධී දේවල් දක්නට ලැබීමත් මිථ්‍යාවෙහි ප්‍රමාණය පිළිබිඹු කරන්නකි.

 දරිද්‍රතාවය යන්න සමස්තයක් ලෙස ''කොඩිගහයට'' පුරාවටම පවතින ලක්ෂණයකි. මහේෂ් ඇතුළු සියලු දෙනා කල්පනා කරනුයේ දරිද්‍රතාවෙන් මිදීමේ ක්‍රමවේදයන්ය. නිදසුන් ලෙස, මහේෂ්ගේ දෙවන ස්වරූපය එනම් ආපන ශාලාවක් ආරම්භ කොට ඔහු පොහොසත් මනුස්සයෙක් වූවාට පසු ඔහුගේ විලාසය තුළ අප වැඩියෙන්ම දකිනුයේ ඔහු මුහුද දෙස බලාගෙන තනිවම කල්පනා කරන ආකාරයයි. ඒ තුළ ඔහු යහපත් මනුස්සයෙක් වීමට දරන උත්සාහය ගැබ්ව පවතී. එමෙන්ම අසේලගේ නංගි, අක්කා, ශ්‍රියානි, ජීවනී පියල් යන චරිත වටා ද ගැබ්ව ඇති ප්‍රධානතම කාරණාවක් නම් දරිද්‍රතාවයයි. නිදසුන් ලෙස, ශ්‍රියානිගේ චරිතය සෑම මොහොතකම එක කෑම වේලක් හෝ වෙන විදිහකට පිරිමහගන්න උත්සාහ කරන ආකාරයත්, පියල් සල්ලිකාර තරුණියකට විවාහ කර දී තම පවුල ගොඩ යාමට දරන උත්සාහයත් දැක්විය හැකියි. එමෙන්ම සාමාන්‍ය ටෙලි කතාවක භාවිතා කරන සාම්ප්‍රදායික නිවාස වලින් වෙනස් වී දරිද්‍රතාවය ඉතා හොඳින් නිරූපණය වන නිවාස භාවිතයන් මෙතුළ වඩා හොඳින් කැපී පෙනේ.

 එමෙන්ම රට තුළ ගිලී පවතින ගැටලුවක් වන නීතියේ අර්බුදකාරී තත්ත්වය ද ''කොඩිගහයට'' තුළ නිරන්තයෙන් ඉස්මතු කර දක්වයි. එනම්, නීතිය සමානාත්මතාවයෙන් යුතුව ක්‍රියාත්මක නොවීම, එක් එක් අයට එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වීම යන කාරණා මෙමගින් මනාව ඉස්මතු වෙයි. එමෙන්ම අධිකරණය පෑගෙන ආකාරයත්, අධිකරණයත් සමග පවතින පාතාල සබඳතා ආදියත් අප හට රොහාන් ගේ චරිතයෙන් හොඳින් විද්‍යමාන වේ. උදාහරණ ලෙස, ඇත්ත පොලිස් කාරයන්ගෙන් නිල ඇදුම් ඉල්ලාගෙන මහේෂ්ගේ කල්ලිය එම නිල ඇඳුම් අදින්නේ ම සොරකමක් කිරීමටය. ඒ අනුව අද වනවිට නිල ඇදුමට හිමි වී ඇති ස්ථානය කවරාකාරද යන්න හොඳින් උද්දීපනය වන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. ''කොඩිගහයට'' තුළ දක්නට ලැබෙන නිර්මාණශීලී ලක්ෂණ සාමාන්‍ය ටෙලිකතා තුළ හඳුනාගත ගත නොහැකි ඒවා වේ. නිදසුන් ලෙස, මහේෂ්ගේ හිත වෙනතක යන්නට හදන හැම මොහොතකම ඔහුට පමණක් ඔහුගේ පියාගේ දර්ශනයන් පෙනීම දැක්විය හැකිය. මෙය ඉතා සංකීර්ණ මොහොතකි. එමෙන්ම පියල් සහ මනීෂා ගේ ප්‍රේම ජවනිකා තුළ පශ්චාත් නූතන ලක්ෂණ පෙන්නුම් කරන ආකාරයක් හඳුනාගත හැකිය. නිදසුන් ලෙස, බෝඩිම් කාමරය තුළ පිස්තෝලයක් සමඟ ඔවුන් රංගනයක යෙදීම දැක්විය හැකිය. මෙතුළ සුසමාදර්ශයන් වෙනස් වී තිබෙන ආකාරය හොඳින් නිරූපණය වේ. මනීෂා ගේ චරිතය තුළින් සාම්ප්‍රදායික පෙම්වතියකගේ ලක්ෂණ පෙන්නුම් කරන ආකාරයක් හඳුනාගත හැකිය. නිදසුන් ලෙස, පියල් නැවත ජීවනීව මුණ නොගැසෙන බව තහවුරු කරවා ගැනීමට ඔහුව පන්සලට එක්කන් ගොස් පොරොන්දු කරවා ගන්නා ආකාරය ආදිය තුළින් ඇය තුළ ගැබ්ව ඇති සාම්ප්‍රදායික පෙම්වතියකගේ බොළද බව විද්‍යමාන වේ.

 ''කොඩිගහයට'' සංගීතයෙන් ඉතාමත් අපූරු, කතාව තුළ ඉදිරිපත් වන හැඩයෙහි භාෂාව ප්‍රේක්ෂකයාට සමීප කරවා ඇති ආකාරය හොඳින් ඉස්මතු වේ. හේශාන් කුරුප්පු සහ දිලීප්මාන් යන දෙදෙනාගේ එකතුවකින් එහි අදාළ සංගීත  කාණ්ඩයන් නිර්මාණය වී ඇත. කතාවෙහි විශේෂ සිද්ධීන්වලදී ජනප්‍රිය සංගීත නිර්මාණ එකතු කර තිබීම මෙහිදී විශේෂත්වයකි. උදාහරණ ලෙස, වත්තේ වෙඩි තබාගන්නා සිදුවීම තුළ 'ආසනම් එන්නකො තරුණයන්' ගීතය භාවිතා කර තිබීම ඉතා සාර්ථක වූ උත්සාහයකි. තවද මෑත කාලයේ සමාජය තුළ සමාජ මාධ්‍ය තුළ තාමත් ජනප්‍රිය ගීතයක් වන 'සල්ලි සල්ලි' ගීතය ''කොඩිගහයට'' ටෙලි කතාව තුළ ඇතුළත් ගීතයකි. මෙය කොඩිගහ උඩ ඉඳන් කොඩිගහ යට සිටින මිනිසුන් දිහා බලමින් කියන සිංදුවක් යන ආකාරයේ මතයන් ඉදිරිපත් වී ඇත. එමෙන්ම මෙය සොරකමත් සමග කියන ගීතයක් වීමත්, බැංකු සොරකම සිදු වන අවස්ථාවේ ජනප්‍රිය සිංදුවක් භාවිත කිරීමේ අවශ්‍යතාවයත් මත එහි අධ්‍යක්ෂකවරයා එය උපයෝගී කොට ගෙන ඇත. මෙමගින් නාට්‍යයට ආලෝකයක් මෙන්ම නව ප්‍රේක්ෂක පිරිසක් එක්තු වී ඇති ආකාරයත් වර්තමානය වන විට පෙනී යයි. එමෙන්ම මෙම ගීතය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තවත් මතයක් නම්, එය නාට්‍යයේ බාහිර ස්වරූපය නිරූපණය කරන ගීතයක් බවයි. තවද ' චූටි කාලේ අපි' ගීතය නාට්‍යයේ ආත්මය ගැන කියවෙන ගීතයක් බවටත්, චරිත වල ආත්මයත් ඉදිරිපත් කරන ගීතයක් බවට මත ඉදිරිපත් වී ඇත. මෙය කොඩිගහයට සිටින මිනිහෙක් විසින් කියන ගීතයක් බව මාගේ මතයයි. 





No comments:

Post a Comment

SKILLS OF EMOTIONAL INTELLIGENCE.

    Ø   SELF REGULATION       Self-regulation helps us focus on a task, achieve long-term goals, develop healthy habits, and get along well ...