Tuesday, September 5, 2023

පුවත්පත් අනාගතය.

 පුවත්පතේ අනාගතය අඳුරු වේවි ද ?

   වර්තමානයේ මාධ්‍ය යනු කර්මාන්තයකි. එම කර්මාන්තය සමාජයට සපයන නිශ්පාදනය වන්නේ, තොරතුරුය. ඒ අනුව, එක් ආකාරයකින් කලාත්මක වූත්, තවත් ආකාරයකින් කර්මාන්තයක් වූත් පුවත්පත අදටත් ඉතාමත් ජනප්‍රිය මාධ්‍යයක් බව නොරහසක් මෙන්ම එය එසේ වීමට බලපෑ ප්‍රධාන හේතු සාධකය වන්නේ, එය ඉපැරණිම මුද්‍රිත මාධ්‍යයක් වන නිසාවෙනි. 

 මෙකී පුවත්පතෙහි අනාගතය රදා පවතිනුයේ එය වර්තමානයේ පවතින තත්ත්වය මත නිසා, මෙහි අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් පුවත්පතට වර්තමානයේ හිමි වී ඇති තත්වය පිළිබඳව සාකච්ඡා කළ යුතුය. වර්තමාන පුවත්පත් සම්බන්ධව නිරීක්ෂණය කරමින් සහ අනාගත පුවත්පත සම්බන්ධව අනාවැකි පළ කරන බොහෝ විශේෂඥයන් පවසනුයේ, වර්තමාන පුවත්පත් කඩදාසි මත මුද්‍රණය නොවන බවයි. එයට හේතුව ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්නේ, වර්තමානය තුළ පුවත්පත් අන්තර්ජාලය තුළ ප්‍රතිනිර්මාණය වීම ය. ජනසන්නිවේදන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ අන්තර්ජාලය තුළ දිනපතා පුවත්පත ප්‍රචලිත වනවා පමණක් නොව ස්වාධීනත්වයක් ද ලබා ගන්නා බවයි. නිදසුන් ලෙස, එක්සත් ජනපදයේ දෛනික පුවත්පත් වලින් අඩකටත් වඩා දැනටමත් විවිධ වෙබ් අඩවි එනම් අන්තර්ජාල අනුවාද ස්ථාපිත කර තිබීම සහ ''නිව්යෝක් ටයිම්ස්'' පත්‍රය වැනි මුද්‍රිත ලෝකයේ බලකණු දශකයක් ඇතුළත වෙළඳපොලෙන් විසි වී වද වී යන බවටද අනාවැකි පලකොට ඇත. මේ ආකාරයෙන් මුද්‍රිත මාධ්‍ය ආයතන තමන්ගේ වෙබ් අඩවි අරඹා සයිබර් අවකාශයේ තම සලකුණ යම් තරමකට සටහන් කිරීමත් සමඟ වර්තමාන පුවත්පත් මාධ්‍යයට හා පුවත්පතේ අනාගතයට එල්ල වන තවත් අර්බුදයක් වන්නේ වෘත්තීය මාධ්‍යවේදීන් අඩුවීමයි. මෙය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පොදුවේ බලපාන කාරණාවකි. නිදසුනක් ලෙස, ප්‍රාදේශීය වාර්තාකරුගේ රැකියා බිඳවැටීම, සැලකිය යුතු මුදලක් ඔහුට නො ලැබීමෙන් පුවත්පත් කලාවෙන් ඈත් ව වෙනත් අංශ කරා යොමු වීම ගත හැකිය. එමෙන්ම වර්තමානයේ ලංකාව තුළ ද WhatsApp , Facebook , Telegram වැනි සමාජ මාධ්‍ය තුළින් විවිධ සමූහ හරහා එනම් ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් PDF හා Document ආකාරයෙන් ජංගම දුරකථනය ආධාරයෙන් කියවීමේ හැකියාව ඇත.

   පුවත්පත් කර්මාන්තය පදනම් වී ඇත්තේ දැන්වීම් ආදායම් මත තම නිෂ්පාදන වියදමින් වැඩි කොටසක් පියවා ගන්නා අතර ආදායම පිටපත් අලෙවියෙන් ලබා ගැනීමේ ආකෘතිය තුළ ය. වර්තමානය වන විට ලංකාවේ පුවත්පත් අනාගතය සම්බන්ධව ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වීමට බලපා ඇති ප්‍රධානතම අර්බුදයක් වන කඩදාසි හිඟවීම හේතුවෙන් පුවත්පතක පිටු සංඛ්‍යාව ඉතාමත් අඩු වී ඇත. එනම් කඩදාසි හිඟ වීමට සහ කඩදාසි වල මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධානතම අර්බුදය ලෙස යුක්‍රේන් අර්බුදය පෙන්වාදිය හැකිය. කඩදාසි හිඟ වීම හේතුකොටගෙන පුවත්පතෙහි පිටු ගණන ද අඩු වී යාමෙන් ලැබෙන දැන්වීම් ප්‍රමාණය ද අඩු වන නිසා පුවත්පත ඉදිරියට ගෙනයාම අභියෝගාත්මක වී තිබේ. නිදසුන් ලෙස, මේ හේතු කොටගෙන සතිඅන්ත පුවත්පත් වල අතිරේක ප්‍රමාණය අඩු කිරීම එනම්, ඉරිදා ලංකාදීප පුවත්පතේ අතිරේක ප්‍රමාණය අඩු කර තිබීම දැනට හඳුනා ගත හැකි සුවිශේෂී ලක්ෂණයකි. කඩදාසි වල මිල ඉහළ යාම සඳහා තවත් සාධක ගණනාවක් බලපා ඇත. එනම් කඩදාසි නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීමේ දුෂ්කරතා, සේවක ගැටලු සහ සැපයුම් ජාලයේ අවුල් කාරී පසුබිම ආදිය පෙන්වා දිය හැකිය. වර්තමානය වන විට පුවත්පතේ මිල ඉහළ ගොස් තිබීමද අනාගත පුවත්පත් කෙරෙහි බලපාන තවත් සාධකයකි. පවතින තත්වය තුළ නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදෙන ඊ පේපර් තුළින් පාඨකයා රඳවා තබා ගැනීම හැර ආදායම් ඉපයීමක් ගැන බලාපොරොත්තු විය නොහැකි නමුත් පුවත්පත නොමිලේ පරිශීලනය කිරීමට ලබා දී ඇති අවස්ථාව නිසා මෙතෙක් පුවත්පත සමග නොසිටි අලුත් පාඨක පිරිසක් පුවත්පතට සමීප වීමට අවස්ථාව උදාවී තිබේ. එමෙන්ම, දෛනිකව ලබාගත යුතු, දෛනිකව මිලදී ගත යුතු මාධ්‍යයක් වන පුවත්පත අද වන විට භෞතිකව ලබා ගැනීමේ අපහසුතාවය මතුවී ඇත්තේ අද වන විට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුවත්පත මිලදී ගැනීමේ හැකියාවත්, එම හැකියාවන් නිසාවෙන්ම පුවත්පත කෙරෙහි පාඨක රුචිකත්වය අඩු වීමත් නිසාවෙනි. නිදසුන් ලෙස, අද වන විට පාඨක රුචිකත්වය වයස අවුරුදු 45 ත් 65 ත් පමණ වූ අය අතර පවතින අතර වයස අවුරුදු 18 ත් 25 ත් දක්වා පාඨකයන්ගේ අඩුවක් පවතී.

  සාම්ප්‍රදායික පුවත්පත් කලා අධ්‍යාපනයේ මූලික ම ඉගැන්වීමක් ලෙස ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී වාර්තාකරුවා මූලිකව කළ යුතුව තිබෙනුයේ සිදු වූ දෙය සිදු වූ පරිදි වාර්තා කිරීමයි. මෙකී නිවැරදි පුවත්පත් වාර්තාකරණයක් වර්තමානයේ ලංකාවේ පුවත්පත් කර්මාන්තයේ නොතිබෙන බවට ඒ කෙරෙහි ඇස යොමු කරන විට අපට පැහැදිලි වේ. නිදසුන් ලෙස, 2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව වැඩසටහනෙහි තරුණ තරුණියන් රටේ මුහුණ දී ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසී තිබුණි. නමුත් එම පුවතෙහි තේමාව වූයේ, ''මගේ පොත් ටික ගිනි තියපු නිසා කියවන්න පොත් නෑ... ජනපති.'' යනුවෙනි. ඒ අනුව පුවත්පත් වාර්තාකරුවන් භාවිතා කරන වචන, පුවතට එකතු කරන අමතර විස්තර සහ ඡායාරූප මෙන්ම එම පුවත පළ කරන ස්ථානය, පුවතට අදාළ තේමාව ආදිය ද ඇතැම් අවස්ථාවන් වල නොගැලපීම් සහගත වේ. මෙය සාම්ප්‍රදායික පුවත්පත් කලා මාධ්‍යයට සිදුව ඇති දැඩි අර්බුදයකි. ප්‍රවෘත්ති මාධ්‍ය අතර තිබෙන දැඩි තරගකාරිත්වයත්, මාධ්‍යකරුවන්ට ගෙවන අඩු වැටුප් සහ අඩු ධාරිතාව නිසාත්, සරල සංවේදී නොගැඹුරු පුවත්වලට ඇති සමාජ කැමැත්ත නිසාත් ඉහත අක්‍රමිකතාවන් වළක්වා ගැනීමට වර්තමානය වන විට හැකියාවක් ද නොමැත. මෙම පසුබිම තුළ අපට කළ හැකි එකම දෙය වන්නේ, මෙකී ප්‍රයෝග අතරින් සත්‍ය තේරුම් ගත හැකි බුද්ධිමත් ග්‍රාහකයෙකු නිර්මාණය කිරීම සඳහා උත්සාහ කිරීමයි. එවැනි ග්‍රහකයෙකු ඉන්පසුව පුරවැසි මාධ්‍යකරුවෙකු බවට පරිවර්තනය කළ හැකිය. ඒ අනුව ප්‍රවෘත්ති වාර්තාවක් සියුම් ලෙස විශ්ලේෂණය කර ගැනීමේ සම්බුද්ධිකභාවය නැති ග්‍රාහකයා පුවත්පත් වාර්තාකරුවාගේ අසරණ ගොදුරක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. ප්‍රවෘත්ති වාර්තාකරණය සමාජ වෙනස් කිරීම් සඳහා අවශ්‍ය වන දැනුවත් කිරීමේ ක්‍රියාමාලාවේ කොටසකි. එහිදී සමාජ සංවර්ධනය කිරීම සඳහා ඉවහල් වන සාධනීය මතවාද ප්‍රවර්ධනය වන ආකාරයෙන් පුවත්පත් වාර්තාකරණය කළ යුතුය. නමුත්, වර්තමානය තුළ එවැනි ආකාරයක් පුවත්පත් වාර්තාකරණය තුළ නොමැත. පුවත්පත් වාර්තාකරණය සිදු කීරීම ගතානුගතික පුවත්පත් කලා මූලධර්ම ආරක්ෂා කිරීම පමණක් අරමුණු කොටගෙන සිදුවීමට වඩා යහපත් වන්නේ, සමාජය යහපත් අන්දමින් වෙනස් කිරීමට දායක වීමයි. පුද්ගල චර්යාවන් යහපත් අන්දමින් වෙනස් කිරීමට දායක වීමයි. 

  මීට අමතරව, වර්තමාන පුවත්පත් තුළ හඳුනාගත හැකි තවත් අර්බුදකාරී දෙයක් වන්නේ, පාඨකයන් අතර තම සංසරණය ඉහළ නංවා ගැනීම සඳහා පුවත්පතේ මග වාර්ගික, ආගමික ප්‍රතිපත්තිය පදනම් කර ගැනීමය ගැනීමය. එහි ප්‍රතිඵලයක් ලෙස, පාඨකයා අතර පුවත්පත් වල විශ්වසනීයත්වය හීන වී යමින් පවතියි. ඊට අමතරව, වාර්ගික හා ආගමික අදහස් කුපිත කරවයි. නිදසුන් ලෙස, මෑත කාලීනව බෞද්ධාගම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවත් පුවත්පත තුළ අතිශයෝක්තියෙන් යුතුව වාර්තා වීමක් හඳුනාගත හැකිවිය. 

   ශ්‍රී ලංකාවේ පුවත්පත් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පළ කරනුයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරමිනි. සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් සිංහල ජනතාව වෙනුවෙන් පළ කරන අතර සුළුතර දෙමළ හා මුස්ලිම් ජනතාව වෙනුවෙන් පළ කරනුයේ දෙමළ පුවත්පත් පමණි. මෙම සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙහිම පුවත්පත් වල වැරදීමකින් හෝ දෙමළ සහ මුස්ලිම් සුළුතරයන් ගේ ඉඩම්, ආගමික, අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය පිළිබඳ පුවත්, ඔවුන්ගේ ඉල්ලීම්, අරගලයන් පිළිබඳව පළ නොකරයි. ඒ වෙනුවට මාධ්‍යවේදීන්ගේත්, පුවත්පත් හිමිකරුවන්ගේත් කැමැත්ත අනුව ඔවුන් පළ කරනුයේ තව තවත් වාර්ගික ආගමික භේද සහ කැළඹීම් වලට තුඩු දෙන කුපිත කරවන සුළු පුවත්ය. නිදසුන් ලෙස, දෙමළ ජනයා ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් කළ වසර 30ක් පැරණි අරගලය පිළිබඳ පුවත් සහ 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනතාවට එරෙහිව වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩත්වය පිළිබඳ පුවත් පළ කිරීම දැක්විය හැකිය. එමෙන්ම තවත් නිදසුනක් ලෙස, මෑතක දී සාධාරණය ඉල්ලා පොතුවිල් සිට පොලිකණ්ඩි වෙත දෙමළ ජනතාව ගිය සාමකාමී පා ගමන දැක්විය හැකිය. මේ සම්බන්ධව අන්තර්ජාතික මාධ්‍ය වල ආකර්ශනය දිනාගන්නා අතර ශ්‍රී ලංකාවේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් මේ පිළිබද කුඩා පුවතක් හෝ පළ නොකරමින් එය වසා දැමීමට කටයුතු කළේය. ඒ අතර, දෙමළ පුවත්පත් වල මේ පුවත මුල් පිටුවේ ප්‍රධාන පුවත විය. මෙය ලංකාවේ වාර්ගිකත්වය අනුව සිදුකරන වෙනස්කම් පැහැදිලිව දක්වන්නකි.

  වර්තමානය තුළ පුවත්පත් ක්‍රියාත්මක වනුයේ හුදෙක් ලාභ අපේක්ෂාවෙන් ම පමණි. ඔවුන් රජයේ හෝ පෞද්ගලික ආයතනයක වෙළඳ දැන්වීම් ඔවුන්ට අවාසිදායක වන ආකාරයෙන් කිසිදා පළ නොකරනු ඇත. මැතිිවරණ සමයේ දී දේශපාලන දැන්වීම් වලට සිදු වන්නේද එම ආකාරයේම ක්‍රියාවලියකි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් වූ පුවත්පත්, දැඩි සූරාකෑමේ මුර බල්ලන් හා ලාභ ඉපැයීමේ රාජ දූතයන් බවට පත්ව ඇති බවක් පෙනී යයි. දේශපාලනය හා ධනවාදය පුවත්පත් වලට වර්තමානයේ විශාල අර්බුධයක් වී තිබේ. ව්‍යාපාර හා දේශපාලන අරමුණු මගින් පුවත් තීරණය කරයි. එම නිසා පුවත්පත් කලාවේදීන් ප්‍රමුඛත්වය දෙනු ඇත්තේ ජනතාවගේ අවශ්‍යතා, ගැටලු සහ ඉල්ලීම් වලට ද වෙළඳ දැන්වීම්කරුවන්ගේ අවශ්‍යතාවයන් වලට ද යන්න ගැටලුවකි. 'කාල්මාක්ස්' මාධ්‍යවේදියකු ලෙස සේවය කළ ද ඔහු ජනමාධ්‍යවේදය පිළිබඳ පැවසූ දේ වැදගත් වෙයි. එනම්, පුවත්පත් වාරණය පිළිබඳ වාදයක දී ඔහු පැවසුවේ මෙලෙසිනි. ''වාරණය නීත්‍යානුකූල වූවත් එය සදාචාරාත්මකව යහපත් නොවෙයි. නීතිගත කළත් වහල් බව අශික්ෂිත ය. වාරණය ද ඒ හා සමාන ය.'' යනුවෙනි. ඒ අනුව, වර්තමාන පුවත්පත් ආර්ථික ප්‍රතිපත්තීන් හා ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භ කරන සංවර්ධන වැඩපිළිවෙළ හෝ ඒවායේ ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කරනුයේ ඉතා අඩුවෙනි. එමෙන්ම දරිද්‍රතාව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව වෙනස් කොට සැලකීම, ළමා කම්කරුවන්, ගොවීන් ගේ පරිහානිය සහ එදිනෙදා පැවැත්ම වෙනුවෙන් කරන අරගලය පළ නොකරයි. එදිනෙදා ඕපාදූප පමණක් තම පුවත්පත් තුළ අන්තර්ගත කරලයි. තරුණ ප්‍රජාව අතරින් පුවත්පත ගිලිහී යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති කාරණා වනුයේ මෙයයි.

මේ ආකාරයෙන් වර්තමානය තුළ අභියෝගයට ලක්ව ඇති පුවත්පත් මාධ්‍යය පාඨකයාගේ විශ්වාසය රැක ගනිමින්, නව තාක්ෂණයන්ගේ අභියෝගවලට මුහුණ දෙමින්, වාණිජමය වශයෙන් සාර්ථක ව පවත්වා ගැනීමට හැකි වේද? එසේ නැතිනම්, සහනාධාර ලබන හෝ විකල්ප ආදායම් මත යැපෙන ආර්ථික මොඩලයකට මාරුවීමට ලොව පුරා පුවත්පත් වලට සිදුවෙයි ද? පුරවැසි මාධ්‍යවේදීන් හා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතර පරතරය අඩු වී යන විට මාධ්‍ය ලෝකයේ කුමන විපර්යාසයක් සිදු විය හැකි ද? මෙවැනි ආකාරයේ ගැටලු පුවත්පත් මාධ්‍ය සම්බන්ධව සිතට නැගීමට හේතු වන ආකාරයේ සාධක ගණනාවක් උක්ත කරුණු ආශ්‍රයෙන් මා විසින් පෙන්වා දී ඇත. අනාගතය පිළිබඳව ඉලක්කගත අනාවැකි පළ කිරීමට කිසිවකුට නොහැකිය. නමුත් අනාගතයේ දී මාධ්‍යක් වශයෙන් පුවත්පත ගරා වැටීමට තිබෙන ඉඩකඩ අවම කොට රැක ගැනීම තරුණ ප්‍රජාව වන අපගේ ද වගකීමකි.

  




1 comment:

SKILLS OF EMOTIONAL INTELLIGENCE.

    Ø   SELF REGULATION       Self-regulation helps us focus on a task, achieve long-term goals, develop healthy habits, and get along well ...